එක් වරක් පමණක් පළඳිනු ලබන දර්ශනීය ඔටුන්න

මැයි 6 වන දා මධ්‍යාහ්නයේ දී, සියවස් ගණනාවක් පුරා දිවෙන රාජාභිෂේක සිරිත් විරිත්හි කොටසක් ලෙස ඓතිහාසික සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න තෙවැනි චාල්ස් රජුගේ හිස මත පළඳනු ඇත. නමුත් ඔහු එය දරා සිටිනු ඇත්තේ පැයකට අඩු කාලයක් වන අතර නැවත කිසිදා නොපළඳිනු ඇත.

මේ අද්විතීය ඔටුන්න සහ එහි කාර්යයභාරය දෙස සමීප බැල්මක් හෙළමු.

චාල්ස්, ඔහුගේ මවගේ අභාවය සිදුවූ වහාම රජුබවට පත්වුව ද, රාජාභිෂේකය යනු ඔහුගේ රාජ්‍යෝදයේ ආරම්භය සංකේතවත් කරන පෞරාණික චාරිත්‍රයකි.

එසේම, එය රාජාභිෂේක උත්සවයක දී පමණක් පළඳින අනර්ඝ සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්නේ දසුනක් ලැබෙන දුලබ අවස්ථාවක් ද වනු ඇත.

කැරට් 22 ඝන රනින් නිමැවූ වසර 360ක් පැරණි ඔටුන්න උසින් සෙ. මී. 30ට (අඩියක්) වැඩි අතර, කිලෝග්‍රෑම් 2.23ක් බරැති ය. එය බරින් අන්නාසි ගෙඩි දෙකකට, විශාල කොමඩු ගෙඩියකට හෝ, වතුර ලීටර දෙකක බෝතලයකට සමාන වේ.

දෙවැනි එලිසබෙත් රැජිණ සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න පැළඳ සිටින ඡායාරූපයක්

සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න අවසන් වරට පළඳිනු ලැබුවේ, දෙවැනි එලිසබෙත් රැජිණ 1953 වසරේ ඇගේ රාජාභිෂේකයේ දී ය - එතැන් පටන් ගෙවුණු 70 වසර තුළ ඔටුන්න ටවර් ඔෆ් ලන්ඩන් මාළිගාවෙන් පිටතට ගෙනගොස් නැති තරම් ය.

වසර ගණනාවකට පසු වාර්තා චිත්‍රපටයක් සඳහා නැවතත් ඔටුන්න දුටු රැජිණ, "ඒක තවමත් බර ද?" යි අසා ඔසවා බලා මෙසේ තහවුරු කළා ය: "ඒක ටොන් එකක් විතර බරයි."

එහි විශාලත්වය සහ විභූතිය ගැන පැහැදීමක් ඇතිවීම වැළැක්වීමට ඔබට නොහැකියි

ඉතිහාසඥ චාල්ස් ෆැරිස්

ඔටුන්නෙහි මැණික් 444ක් තිබේ - මෙයට අගනා ඉන්ද්‍රනීල, පද්මරාග, අඹතේස්ත සහ පුෂ්පරාග ඇතුළත් වන නමුත්, මැණික්වලින් බහුතරය ලා නිල් හෝ නිලට හුරු හරිතවන් පව්චපඩියම් ය. ඒවා එනැමලයෙන් සහ රනින් බැඳ තිබේ.

ඔටුන්නෙහි මැණික් ඉවත්කළ හැකිව තිබූ අතර, එකල ඒවා රාජාභිෂේකය සඳහාම විශේෂයෙන් කුලියට ගනු ලැබිණි.

ඒවා ඔටුන්නට තබා ස්ථිරව සවිකරනු ලැබුණේ විසිවන සියවසේ දී ය.

දෙවැනි චාල්ස් රජු, රාජ්‍ය ඔටුන්න ද ඇතුළු නව රාජ අභිෂේක භාණ්ඩ සමග

ඔටුන්න නිර්මාණය කෙරුණේ 1661 දී, දෙවැනි චාල්ස් වෙනුවෙනි. ඇන්ග්ලෝ-සැක්සන් රජෙකු සහ සාන්තුවරයෙකු වූ එඩ්වඩ් ද කොන්ෆෙසර්ට අයත්ව තිබූ පෙර අනුරුවක නමින් මෙය නම්කර තිබේ. ඔහු මෙම ඔටුන්න පැළඳ සිටින අයුරු, 11 වැනි ශත වර්ෂයට අයත් ප්‍රසිද්ධ ගෙත්තම් තිරයක් වන බේය' ටැපැස්ට්‍රියෙන් පෙන්වයි.

එඩ්වඩ්ගේ මරණයෙන් බොහෝ කලෙකට පසු ශුද්ධ වස්තුවක් ලෙස සැලකුණු ඔහුගේ ඔටුන්න, 1220 දී තෙවැනි හෙන්රිගේත්, ඉන්පසුත් රජුන් හා රැජිණියන්ගේත් රාජාභිෂේකයන් සඳහා භාවිතාකර තිබේ.

නමුත්, 1600 ගණන්වල දී පළමු චාල්ස් රජු මරණයට පත් කිරීමෙන් පසු ඔලිවර් ක්‍රොම්වෙල්ගේ පාර්ලිමේන්තු සභිකයින් විසින් එය අනෙකුත් රාජ අභිෂේක භාණ්ඩ ද සමග උණු කරවනු ලැබුණි.

ක්‍රොම්වෙල්ගේ මරණයෙන් පසු, රාජකීයත්වය නැවතත් විලාසිතාවක්බවට පෙරැළීමෙන් අනතුරුව, දෙවැනි චාල්ස් රජතුමා නව රාජ්‍ය ඔටුන්නක් (ඔහු එය පැළඳ සිටිනු ඉහත පින්තූරයේ දිස්වෙයි) සහ සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න ඇතුළු නව රාජ අභිෂේක භාණ්ඩ කට්ටලයක් තැනවීම සිදුකළේ ය.

එඩ්වඩ්ගේ ඔටුන්නෙහි මැණික් කීපයක් පමණක් තිබියේයැ යි විශ්වාස කෙරෙයි. නමුත් රාජ ආභරණ පිළිබඳ ඉතිහාසඥ ඇනා කීට අනුව, දෙවැනි චාල්ස්ගේ අනුරුවෙහි දියමන්ති සහ වර්ණවත් මාණික්‍ය තිබී ඇති අතර, ඒවා පුද්ගලික බැංකුකරුවෙකු හා රන්කරුවෙකු වූ රොබර්ට් වයිනර්ගෙන් පවුම් 500ක ඉහළ මිලකට විශේෂයෙන්ම කුලියට ගෙන තිබේ.

ඔටුන්නේ බැම්මෙහි කුරුස සහ ෆ්ලර්-ඩ-ලිස් සංකේත හතරක් ද, මධ්‍යයේ දී එකට හමුවන ආරුක්කු දෙකක් ද ඇත.

මෙම ආරුක්කු මත පෙර දී අල්ලා තිබූ අනුකාරක මුතු වෙනුවට දැන් ඒ මත කුඩා රන් පවලම් අල්ලා තිබේ.

ඔටුන්න මස්තකයෙහි, එල්ලෙන පබළුවලින් හා මාණික්‍යයෙන් සැරසූ කුරුසයක් ද, රජුගේ පාලනය යටතේ පවතින ලෝකය නියෝජනය කරන "මොන්ද්" එකක් ද වෙයි.

එය 1661 දී නිර්මාණය කෙරුණ ද, චාල්ස්, සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න පළඳිනු ඇති සත්වැනි රජු ය.

තෙවැනි චාල්ස් රජු, සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්නෙන් රාජාභිෂේක ලබන හත්වැනියා වනු ඇත

දෙවැනි චාල්ස්ගේ අනුප්‍රාප්තිකයින් වූ දෙවැනි ජේම්ස් (1685 දී) සහ තෙවැනි විලියම් (1689 දී) යන දෙදෙනාම සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්නෙන් කිරුළු පැළඳූහ. නමුත්, රාජකීය රුචි අරුචිකම් හා විලාසිතාවන් වෙනස්වීමත් සමග, එය තවත් වසර 200කට වැඩි කලක් රාජාභිෂේකයන්හි දී පළඳිනු නොලැබිණි - එනමුත් එය රාජකීය ප්‍රදර්ශනයේ කොටසක් ලෙස බොහෝ උත්සවවල අංගයක්බවට පත්විය.

1902 දී හත්වැනි එඩ්වඩ් රජු එය ඔහුගේ රාජාභිෂේකය සඳහා පැළඳීමට සැලසුම්කර විශේෂයෙන් ප්‍රතිසංස්කරණය කරවාගත් නමුත්, ඔහු රාජාභිෂේකයට පෙර රෝගීවූයෙන් වඩාත් සැහැල්ලු රාජ්‍ය ඔටුන්නකින් කිරුළු පැළඳී ය.

හත්වැනි එඩ්වඩ් අනුව යමින්, පස්වැනි ජෝර්ජ් ද එම ඔටුන්න පැළඳීමට තෝරා ගත්තේ ය - ඔහු පව්චපඩියම් දුසිම් ගණනක් ද ඇතුළුව එහිවූ මැණික් ස්ථිරවම ඔටුන්නට සවිකරවී ය.

එම මැණික් මුල් ඔටුන්න මත නොතිබෙන්නට ඇතත්, නව ශත වර්ෂය ලබද්දී ඒවා රාජකීයයන් හා ෆැබජේ වැනි රාජකීය රන්කරුවන් අතර ප්‍රසිද්ධව තිබූබව මැණික් පිළිබඳ විශේෂඥ කිම් රික්ස් පවසයි.

හයවැනි ජෝර්ජ් රජු ද මෙය අනුගමනය කළ අතර, අවසානයේ, දෙවැනි එලිසබෙත් රැජිණ එය රාජාභිෂේකය සඳහා පැළඳි අවසාන තැනැත්තියබවට පත්විය.

ඔටුන්නේ ඉදිරිය සහ පිටුපස මුළුමනින්ම පාහේ සර්වසමබව ඔබට දැකගත හැකි ය.

ඔටුන්නේ බැම්ම වටා ඇති පටිය සාදා ඇත්තේ, වලගයේ අග කළු පැහැ වන, සුදු ලොම් ඇති මුගටි වර්ගයේ සතෙකුගේ ලොම්වලිනි. උන්ගේ ලොම්, දිගුකලක් තිස්සේ ප්‍රභූන් අතර පන්ති සංකේතයක්ව පැවැතිණි.

ඔටුන්නේ ඉදිරිය සහ පිටුපස වෙන්කර හඳුනාගැනීම සඳහා පහසුම ක්‍රමය වන්නේ වෙනස් වර්ණයෙන් යුත් මැණික් ය - නමුත් මෙය අතීතයේ දී ව්‍යාකුලත්වයට තුඩු දී තිබේ.

සයවැනි ජෝර්ජ්ගේ රාජාභිෂේකය

රැජිණගේ පියා වූ හයවැනි ජෝර්ජ්ගේ රාජාභිෂේකයට පෙර ඔටුන්නේ ඉදිරිය හා පිටුපස වෙනකොට හඳුනාගැනීම සඳහා එය මත රතු කපු නූලක් බැන්දේයැ යි කියනු ලැබෙතත්, එය උත්සවයට පෙර අතපසුවීමකින් ඉවත්කර තිබේ.

රජු පසුව මෙසේ ලිවීය: "මම ඔටුන්න නිවැරදි පැත්තට හරවා පළඳවනු ඇතැ යි සහතික කිරීම සඳහා සෑම පෙර සූදානමක්ම සිදුකළත්, නායක දේවගැතිතුමා සහ අගරදගුරුතුමා එය කොතරම් එහෙට මෙහෙට හැරවූවා ද යත් එය නිවැරදි [අතට] පළඳවනු ලැබුවේ ද නැද්ද යන්න මම කිසිදා දැන සිටියේ නැත."

ඔටුන්න ප්‍රසිද්ධියේ දැකිය හැකිවන්නේ කලාතුරකින්වුවත්, එය හුරුපුරුදු පෙනුමක් දැරිය හැකි ය.

ගමන් බලපත්‍රයේ පින්තූරයක්

ඔබ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයන් මත ඇති වංශාවලි සලකුණ හෝ තැපැල් පෙට්ටි සහ වෑන් රථ මත සටහන්ව ඇති රාජකීය තැපෑලේ ලාංඡනයෙන්, ඔටුන්නේ සුවිශේෂී සිලුවටයක් ලෙස පෙනෙන විධිමත් අනුරුවක් දැක තිබෙන්නට හැකි ය. එසේම සමාජ මාධ්‍ය ගැන ද විමසිල්ලෙන් සිටින්න - පරිශීලකයෙකු ට්වීට් පණිවුඩයක් සටහන් කිරීමේ දී රාජාභිෂේකයට සම්බන්ධ හෑෂ්ටැග් එකක් භාවිතා කළහොත් ස්වයංක්‍රීයව මතුවෙන කාටූන්මය ඔටුනු ඉමොජියක් දැන් තිබේ.

දෙවැනි එලිසබෙත් රැජිණ ඇගේ රාජකීය ලාංඡනය ලෙස සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න තෝරාගත්තත්, චාල්ස් ඔහුගේ පාලන සමය සඳහා නව ලාංඡනය ලෙස වෙනත් ඔටුන්නක් තෝරාගෙන ඇත. නමුත් සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්නේ වැදගත්බව නොනැසී පවතියි.

එය, "රාජාණ්ඩුව පෞරාණික සංස්ථාපිතයක්බවටත්, එය මෙසේ මෙහිම පවතිනු ඇතිබවටත්" පැහැදිලි පණිවුඩයක් ලබාදෙනබව 'ක්‍රවුන් ඇන්ඩ් සෙප්ටර්' ග්‍රන්ථයේ කතුවරිය වන ට්‍රේසි බෝමන් පවසයි.

ඓතිහාසික රාජකීය මාළිගා පිළිබඳ මහජන ඉතිහාසඥයෙකු වන චාල්ස් ෆැරිස් පවසන්නේ, මෙම ඔටුන්න ඔටුනු පැළඳීමේ මොහොත සඳහාම වෙන්කර තිබීම අතිශයින් වැදගත්බව යි.

එය සැබැවින්ම මෙම ඇදහිය නොහැකි වස්තුවේ මායාවට [තවත් යමක්] එකතු කරයි

ඉතිහාසඥ චාල්ස් ෆැරිස්

එබැවින් මැයි 6 වන දා පැවැත්වෙන රාජාභිෂේකය, සැබෑ ඔටුන්න ප්‍රසිද්ධියේ දක්නට ලැබෙන දුර්ලභ අවස්ථාවක්වනු ඇත.

අනතුරුව, සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න මීළඟ රජු පැමිණෙන තෙක් සිටීමට ආපිට ටවර් මාළිගාව වෙත යනු ඇත.